සිහින ...

තාර ගැලවුන පාර කට්ටේ
ණයට ගත් මරුතියේ ඉඳගෙන
ලඟම උන් එක්කලා තරඟෙට
බෙන්ස් හීනෙට හැටේ පාගන..

පඩි පතේ ඉතුරුවක් නැතුවට
බිත්ති හතරට එහා දුර ගොස්
හීනයක හිර කරපු තරමක්
අහස උසටම නැගුන මන්දිර..

නැවතිලා රතු එලිය අද්දර
ඇසිල්ලෙ ඇස් ඇර බලනවිට
දුටිමි අපමණ තවත් ඇති බව
හීනයක්වත් අහිමි ජීවිත...

දිනෙක ඉඳහිට..

දිනක ඉඳහිට සැඳෑ වරුවක
ලෝකයෙන් තනි වූ ඇසිල්ලක
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල තනි වෙමී..

සිහින මිහිදන් සුසානය මත
අදත් යුවලකි මතක ඇහිඳින
තබන බර අඩි සද්ද හින්දම
අවදි කරවයි මියුනු මතකය
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල ඇවිදිමී..

සිත්තමක් සේ දෑස් අභියස
ඇඳෙන පෙර දින මට උරුම රුව
හදින් පිටමං නොකල  වරදට
නෙතු කෙවෙනි නිති බොඳ වෙවී
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල තනි වෙමී..



සැප කාර් තඩි ගෙවල් මොණර කොල මිටිවල
වැඩි වැටුප් පට්ටන්දර කැරකැවෙන පුටුවල
රාග දෙනෙතක බාල ටෙලියක පිරූ මධුවිතවල
ජීවිතේ තියෙන්නෙම අපි හොයපු නැති තැන් වල

මේ නගරය..

නම ඇහුන ගමන්
මතක අවුලුවන
හීන ඇහැරවන
ආයෙත් යන්න හිතෙන
ආදරණීයම නගරය
මතකයක් විතරමයි අද
උඹ නැතුව
මං විතරක්
රස්තියාදු ගහන..

සමාජ දුරස්ථභාවය

උඹව පෙනි පෙනී
උඹව ඇහි ඇහී
උඹව දැනි දැනී
නොපෙනෙනා,නෑසෙනා,නොදැනෙනා
ලෙස ඉන්න මට
උන් එනවා කියල දෙන්න
Social distancing

ගුරු ගෙදරට ආයෙත්

සියල්ල එලෙසමයි
වෙනස් වී ඇත කාලය
පමණක්
පෙර කාලය
අප උන් කාලය
අද ලෙස
අපද අතීතයක් කර..
දුව පනින සමනල පැටවු
අවුස්සන මතක නටඹුන්
අතර
මතුවී පෙනෙන මිතුරුදම්
ආදරෙන්
එදා වාගෙම

තුංමං හන්දිය


දෙමගක පැමිනි උන්
එක්ව පෙරට යන
එක්ව පැමිණි උන්
වෙන්ව දෙමගක යන
අරුමය
තුංමං හන්දිය

ශිෂ්‍යත්වය

සමත් කියනා මෙන්ම
අසමත් කියනා සැමත්
එකම පන්තියේ
ආයෙත්
හෙට සිට..

පුවතක්


කොරෝනා එක්ක ජීවත් වීමට ජනතාව හුරු විය යුතුයි
-පුවතක්-

උඹත් එක්කත් ඉන්න තිබුනා
හරි ආදරෙන් තාමත්
උන්නා නම් මේ වගේ
කට වහගෙන
මීටරෙන්

තත්පර තිහක්වත්


ලක්ශපතියට යන්න හිතෙනවා
උත්තරේ දැන දැනත්
Call a friend ගන්න
වැරදි උත්තරේම
දෙන බව දැන දැනම
උඹත් එක්ක කතා කරන්න
තත්පර තිහක්
ඔව් තත්පරම තිහක්
Related Posts Plugin for WordPress, Blogger...