Showing posts with label හදවතට (කෙටි කතා). Show all posts
Showing posts with label හදවතට (කෙටි කතා). Show all posts

මේ ආදරයමයි - II






විභාග ප්‍රතිඵල නිකුත් උනේ මට ගොඩාක් සතුටුදායක ආරංචියක් එක්ක.ඒ සතුට මට ලැබුනෙ මම campus select උන නිසා නෙවෙයි. මටත් වඩා හොඳ results අරගෙන ඔයා campus select උන නිසයි.ඒක මගෙ ජීවිතේ මම අහපු සතුටුදායකම ආරංචිය උනත් අද මට හිතෙනව ඒ සතුටුදායක ආරංචියම තමයි මගෙ ජීවිතයට කඳුල ගෙනාවෙ කියල. ඔයාව කොලඹ තනි කරල මට ගොඩාක් දුර එන්න උනා. ඔයා කොලඹ තනි උනා කීයල හිතුවට ඇත්තටම සිද්ද උනේ ගොඩාක් දුරක මම තනි උන එක විතරයි කියලත් දැන් මට හිතෙනවා..

මම campus ආවට පස්සෙත් අපි කථා කලා. ඉස්සර තරම්ම වෙලාවක් සමහර විට ඊටත් වඩා. හැබැයි ඉස්සර තරම් ආදරෙන්ද කියන එක මටත් ප්‍රශ්නයක්. මට වෙනසක් දැනුනෙත් නෑ, හැබැයි නැත්තෙත් නෑ. ඉස්සරත් අපි කථා කලා, රන්ඩු උනා, ටික වෙලාවකින් මම වැරැද්ද බාර ගත්තා.
 "ඔයා හරි, මටයි වැරදුනේ" මම කියනව.
 "නෑ නෑ,ඔයා හරි, මටයි වැරදුනේ" ඔයා කියනව. අපි දෙන්නම හිනහ වෙනව. ප්‍රශ්නෙ එතනින් ඉවරයි.

දැනුත් අපි රන්ඩු වෙනව.පුරුදු විදිහටම මම වැරැද්ද භාර ගන්නව.  "ඔයා හරි, මටයි වැරදුනේ".  ඒත් එතනින් එහාට කථාව වෙනස්. ඉස්සර වගෙ අපි හිනා වෙන්නෙ නෑ. හැමදාටම මම පුරුදු උනා  "ඔයා හරි, මටයි වැරදුනේ"කියන්න. ඔව්,  "ඔයා හරි, මටයි වැරදුනේ"

විනාඩි දෙක තුනක call එක පැය දෙක තුනක් වෙන්න ගිය කාලයටත් වැඩිය ඉක්මනට පැය දෙක තුනේ call එක ආයෙත් විනාඩි දෙක තුනක් උනා. ඊටත් පස්සෙ දවසකට වතාවක්, දවස් දෙකකට වතාවක්, සතියකට වතාවක් විදිහට ක්‍රමානුකූලව අඩු වෙලා ගිහින් මාස දෙක තුනකට වතාවක් ලැබෙන පුංචිම පුංචි sms එකකට අපේ ආදරේ අද සීමා වෙලා.

අපි ගොඩක් දේවල් කතා කලා. ගොඩාක් දේවල්. ඒත් ආපහු හැරිලා බැලුවම මට හිතෙනව අපිට මොනව හරි දෙයක් කථා කරන්න බැරි උනාද කියල. අපි මුළු ලෝකය ගැනම කථා කලා. ඒත් අපි ගැන වචන දෙක තුනක්වත් කතා කලාද? අඩුම තරමෙ ඔයාට ආදරෙයි කියලා කියාගන්නවත් මට කවදාවත්ම බැරි උනා. මට ආදරෙයි කියල ඔයත් කවදාවත්ම කිව්වෙ නෑ. ඒත් අපි දෙන්නගෙම හිත් වලට ඒ ආදරේ දැනුනා නේද?

මේ තරම් වෙලාවක් මතක පොතේ පිටු පෙරල පෙරල මම හෙව්වෙ එකම එක ප්‍රශ්නෙකට උත්තරයක්. ඇත්තටම මට වැරදුනේ කොතනද? මගේ ආදරය කවදාවත්ම ඔයාට නොකීව නිසාද මට වැරදුනේ. අනේ මන්දා.

ඒත් ආදරේ කියන දේ මම ඉගෙන ගත්තෙ ඔයාගෙන්. ඔයයි මට ආදරේ කියල දුන්නෙ. මම දන්නෙ ඔයා මට කියල දුන්න ආදරේ විතරමයි. ඔව්, මට තවම ඇහෙන්නෙ ආදරේ කියල ඔයා කියපු කවිය විතරමයි. ඔයාගෙ කවියමයි.

මුතු වැස්ස වහිනවා
එදා වාගේ දැනේ
අපේ මිරිවැඬි දොවා ගැලුවා
කොලඹ සරසවි මාවතේ
තවම මා ලඟ ඇසෙන්නේ
ආදරේයැයි ඔබ ලියූ කවියයි.

මේ ආදරයමයි
මම සොයා ගියේ
හදවතට තටු ලැබී
පියාඹා දුර අනන්තේ
පුංචි වැහිලිහිණියෝ
ඔබේ ගී හඬදෝ
තවම මා ලඟ ඇසෙන්නේ //

කියන්න මම හරිද? මේ වතාවෙදිවත් මම හරිද? පුළුවන්නම් කියන්න එකමෙ එක වතාවක්, "ඔයා හරි, මම  වැරදියි" කියලා. මම බලාගෙන ඉන්නවා. හැමදාටම.....

මේ ආදරයමයි - I

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

 ඔව්. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා. ඒත් තිබුන කියන්නද තාමත් තියෙනව කියන්නද කියල මම දන්නෙ නෑ. කොහොම උනත් සමහර රචකයො හැබෑවටම අපිට උන දේවල් රචනා කරනව, ගායකයො ගයනව. ඒ ගීත කවදාවත්ම අමතක කරන්න බැරි අපේ මතකයන් නැවත නැවතත් අපිට මතක් කරනවා.

එක නිමේශෙකට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න ඒ බව අහල තිබුනත් අත්වින්දෙ ඔයාගෙන්. එක නිමේශයකදි සිසිල් මදනලක් වෙලා මගේ ලඟට ආපු ඔයා ඊලඟ නිමේශයෙදි මහා චන්ඩ මාරුතයක් වෙලා මගේ ලෝකෙන් යන්න ගියා. ඒත් ඒ සිසිල් මදනල මගේ ලෝකෙට මොනවද ගෙනාවෙ, චණ්ඩ මාරුතය මගෙ ලෝකෙන් මොනවද අරගෙන ගියේ? මම අදත් කල්පනා කරනව ඇත්තටම ඔයා නිසා මගේ ලෝකෙට මොකද උනේ කියල. ඔය නිසා මගේ ලෝකෙට මොකුත් ලැබිලත් නෑ, මොකුත්ම නැතිවෙලත් නෑ.ඒත් මගේ ලෝකෙ වෙලා ගත්ත මේ මහා පාළුව, තනිකම? ඒක මට දුන්නෙ කව්ද?  ඔයා නේද? ඒත් ඒක පිලිගන්න ඔය කැමති නෑ. මම දන්නව ඔයා කවදාවත්ම ඒක පිලිගන්නෙත් නෑ කියල. ඔව් ඉතින් හැමදාම "ඔයා හරි, මම වැරදියි." ඒත් මට වැරදුනෙ කොතනද? මම හොයනව. ඊයෙත් අදත් හෙටත් මම හොයනව.

අපේ ආදර කතාවත් හරිම අමුතු ආදර කතාවක්. ඔව්, අපි දෙන්න මුලින්ම මුනගැහුනෙ රෝස මල් පිපුන ලස්සන මල් වත්තක නම් නෙවෙයි. මහ සෙනඟක් හුඟක් කලබලයෙන් එහෙ මෙහෙ දුවන ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දවසෙදි BMICH එකේදියි අපි දෙන්න ඉස්සෙල්ලම මුනගැහුනෙ කියල මම කිව්වොත් හැමදාම වගේ ඔයා කියයි මම වැරදියි කියල. අපි මුලින්ම මුනගැහුනෙ අනුරාධ සර්ගෙ Logic Class එකේදි කියල ඔයා කියයි. ඒ කථාවත් ඇත්ත. ඒත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ළමයි හිටිය ඒ Class  එකේදි ඔයා මට තවත් එක යාළුවෙක් විතරක්ම උනා. අඩුම ගානේ Class එකේ අන්තිම දවසෙදිවත් මම ඔයාගෙ Phone Number එක ඉල්ල ගත්තෙවත් නෑනෙ. එහෙම බැලුවොත් ඔයා කියන ඒ ආදර කතාව Logic Class  එකෙන් පටන්ගෙන Logic Class එකෙන්ම ඉවර වෙනව.

ඒත් මම කියන ආදර කතාව පටන් ගන්නෙ එකේදි අපි දෙන්න මුන ගැහුන තැනින්. ලක්ෂගානක මහ සෙනඟක් එහෙ මෙහෙ දුවන ඒ තරම් කාර්‍යබහුල තැනකදි තැනකදි හොඳට දන්න කියන කෙනෙක් උනත් මඟ ඇරෙන්න පුලුවන්. ඒත් ඒ දෙනෝදාහක් අතර මගේ ඇස් ඔයා ලඟ නැවතුනා. ඔයත් මං දිහා බලලා යන්තමින් හිනහ වෙලා අහක බලා ගන්නව වෙනුවට මගෙ දිහාම බලාගෙන හිටියා. ලක්ෂ ගානක් මිනිස්සු මැද ඔයයි මමයි එකම ලෝකෙක හුදකලා උනා.

"අයේෂා"
"නිමේෂ්"
"ඉතින් කොහොමද?"
"හොඳින් ඉන්නවා"

ඊට පස්සෙ දිග නිහැඬියාවක්. අන්තිමේදි ඔයා මොනවද කියන්න හැදුවා. මමත් මොනවද කියන්න හැදුවා. ඔයා කියන්න ගිය නිසා මම මුකුත් කිව්වෙ නෑ, මම කියන්න ගිය නිසා  ඔයා මුකුත් කිව්වෙත් නෑ.අපි දෙන්නම ගොළු උනා. ඊලඟ තත්පරයෙදි අපි දෙන්නම හිනා උනා.ඔව් මට තාමත් මතකයි. ඔයාට මතකද? ඔයා මගෙ Phone Number  එක දැන් ඉල්ලයි දැන් ඉල්ලයි කියලා මම බලන් හිටියා. ඒත් හැම දේම වගේම ඔයාට ඒකත් අමතක උනා. හැබැයි මම ඔයාගෙ Phone Number  එක ඉල්ලපු ගමන්ම ඔයා Number එක මට දුන්න. සමහරවිට ඔයත් බලාගෙන ඉන්න ඇත්තෙ මම Number එක ඉල්ලනකම්.

ඔයාට මතකද මුලින්ම අපි Phone එකෙන් කථා කරපු දවස. අපි කථා කලා වචන දෙක තුනක්. නැහැ දහයක් දොලහක්. ඒත් ඒ වචන දහය දොලහ ඇතුලෙ හැංඟුන  ලොකු රහසක් තිබුන කියල මට හිතුනා. ඔයාටත් දැනෙන්න ඇති. ඒත් එදා කිව්ව දේවල් වලට වැඩිය කියන්න තිබුන දේවල් වැඩි නිසා ආයෙත් Call කරනකම් මග බලාගෙන හිටියා. මුලින් විනාඩි දෙක තුනක Call එක පැය දෙක තුනක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඒ පැය දෙක තුන නිසයි මගෙ මුළු දවසම ගත උනෙ. ඒ Call එක එනකම් මම කොයි තරම් ආසාවෙන්ද බලාගෙන හිටියේ. ඒ කාලය කොයිතරම් ලස්සනද? ඒ මතක කොයිතරම් අපිට ලෙංගතුද? ජීවත්වෙනව කියල මතක් කලේ ඒ මතක. ඒ මතකයන්ට මම ආදරේ කලා.  ඔව්, ඔයාට මම ආදරේ කලා. ඇත්තටම මම ඔයාට ආදරේ කලා. ගොඩාක්.............

මේ ආදරයමයි II



ප.ලි.

මෙය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කරන "සංහිඳ" සඟරාවේ දෙවන කලාපයේ පල කරන ලද කෙටිකතාවකි. ඊලඟ කොටස ලඟදීම....

අවමංගල්‍ය සභාවෙන් අවසරයි.....

-->
“ඉස්කෝලෙ මහත්තයෝ මම මේ මුලිච්චි වෙනකංමයි උන්නෙ, හැබෑටම මහත්තයෝ මොකක්ද ඔහේගෙ පොඩි පුතා නටන නාඩගම, මුළු පවුලෙම නම්බුව කම්මුතුයිනෙ. දැනුත් මං දැක්ක හන්දියෙ බෝක්කුව උඩ කාණ්ඩ ගැහිල. ඉලංදාරිය දැන් රස්තියාදුවෙමයි. ඔබතුමාට තාමත් අපි ගරු කරනව.ඒ නිසයි මෙහෙම කතා කලේ. නැත්නම් අල්ලල දෙනව පොලීසියට.”
“ඒ මොකද ප්‍රින්සිපල් සර්?”
“මුං හැත්තවරිගෙම  ඉස්කෝලෙ වත්තට පැනල පොල් ගස් ටික ඔක්කොම සුද්ද කරලනෙ. ඔබතුමත් ගුරුවරයෙක් නෙ, කොල්ල දිහා ඇහැ ගහගෙන ඉන්න.නැත්නම් ලොකු විනාසයක් අත ලඟයි. ඕං මං අද කිව්වයි කියල මතක තියා ගන්න.”
අවුරුදු ගානකට පස්සෙ ප්‍රින්සිපල් සර්ගෙ කථාව ආයෙත් මතක් උනා. ප්‍රින්සිපල් සර් විතරක් නෙවෙයි කඩේ මුදලාලි, ග්‍රාම සේවක මහත්තයා වගේ කීප දෙනෙක්ම ඒ දවස් වල ඔය කතාවම කිවා.ඒකෙ වරදකුත් නෑ. ඒත් මං දන්නව පොඩි එකාගෙ වරදකුත් නෑ......
පියදාස රත්නායක ඉස්කෝලෙ මහත්තයා, අවුරුදු 35 ක් ම දරුවන්ට අකුරු ඉගැන්නුවා.ඒ 35 න් 15ක්ම උපන් ගමේ ඉස්කෝලෙමයි. මගෙන් ඉගෙන ගත්තු හැම දරුවෙක්ම මගේ..උන් හැමෝම හොඳ හොඳ තැන් වලට ගියා, ඒ අතර වෛද්‍යවරු, ඉංජිනේරුවොත් හිටියා. ඒ තරම්ම ඉහලට නොගියත් ලොකු පුතා ලිපිකරුවෙක්,ලොකු දුව ගුරුවරියක්. එතකොට චූටි දුව කථිකාචාර්යවරියක්.  ඒත් පොඩි එකාට උසස්පෙළ කරන්න 6යි 3 ක් වත් තිබුනෙ නෑ.පවුලෙ බාලය නිසා හැමෝගෙම හුරතලේට හැදුනා. ඉගෙන නොගත්තට උඹ මට බරක් නෙවෙයි මගෙ පුතේ. මට පුලුවන් උඹට කන්න අඳින්න දෙන්න. උඹ කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. එත් උඹට වැරදුනේ කොතනද?
"අපෙ මහත්තයෝ, පාංශකූලෙට හාමුදුරුවො වැඩියා"
මම ආයෙත් මේ ලෝකෙට ආවෙ හාමිනේගෙ හඬින්. හාමිනේ දිහා බැලුවට මොකෝ එක වචනයක්වත් කථා නොකරම මම සාලෙට ආව. පොඩි හාමුදුරුවො පන්සිල් දුන්න. ගැඹුරු හඬකින් කරපු ලොකු හාමුදුරුවන්ගෙ අනුශාසනාව අතරෙදි මං ආයෙත් කල්පනා ලෝකෙ අතරමං උනා.
"කොල්ල ඊයෙ රෑට කෑවෙත් නෑ අපෙ මහත්තයෝ."
මම පොඩි එකාට කෑගැහුවෙ රට්ටුන්ගෙ කතන්දර අහගෙන ඉන්න බැරිම තැන. ඊට පස්සෙන්ද හාමිනේ ඔහොම කීවමයි මට මතක් උනෙ මාත් වේල් දෙක තුනක්ම නොකා හිටියෙ කියල. හවස පොඩි එකා ගෙදර ආවෙ ඉරිද පත්තරෙත් අරගෙන. පත්තරේ පෙරල පෙරල මොනවදෝ හොයනව අපි බලාගෙන හිටිය.
රස්සාවක් හොයා ගත්තද?
රෑ කෑම මේසෙදි චූටි කෙල්ල ඇහුවෙ ඔලොක්කුවට වගේ..
"ඔව්, මං හමුදාවට යනවා."
සති දෙකක් ගත උනා. හාමිනේ නොඅඬපු දවසක්  තිබුනෙ නෑ. කොළුව හමුදාවට යන්න හදන්නෙ මම ඌට කෑ ගහපු නිසා කියලයි උන්දෑ හිතන්නේ,මට හිතුනෙත් එහෙමමයි. දවස් ගානකට පස්සෙ කොල්ල මාත් එක්ක කතා කලේ හමුදාවට යන දවසෙ උදේ.මගේ දෙපා අල්ලල වැඳපු පොඩි එකා කියපු වචන මට තාම මතකයි.
"අප්පච්චි හිතන්න එපා මං හමුදාවට යන්නෙ අප්පච්චි මට බැන්න නිසා කියලා,මං දන්නව අප්පච්චි මට බැන්නෙ මාව හදාගන්න කියලා.ඇත්තමයි ඒ වෙලෙයි මගෙ ඇස් ඇරුනෙ. අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න කාලෙ ඇවිත් අප්පච්චි. ඒ නිසා මම හමුදාවට යනවා. රට රැක ගන්න එක මගෙ වගකීමක්, ඒකට මට ආශිර්වාද කරන්න අප්පච්චි."
කාලය මහ ඉක්මනට ගෙවිල ගියා.පොඩි එකා අවුරුදු ගනණාවක්ම උතුරෙ ක්‍රියාන්විතයෙ හිටියා.නිවාඩුවකට ගෙදර ආවත් දවසකට දෙකකට වඩා ඉන්නෙ නෑ. ආයෙත් දුවනවා. හැමතිස්සෙම කීවෙ "අපි දිනනව අප්පච්චි, ඉක්මනටම අපි දිනනව" කියලයි.
"ඔව් පොඩි පුතේ, උඹ දිනුවා.උඹේ ජීවිතෙ උඹ දිනුවා. උඹට රස්තියාදුකාරය කියල ආඩපාලි කියපු ගමේ උන් අද උඹ ගැන ආඩම්බරෙන් කතා කරනවා.උඹ හොරෙන් පොල් කඩපු ඉස්කෝලෙ වත්තෙනුයි අද ගොක්කොල කැපුවෙ. ඉතින් උඹේ ජීවිතේ උඹ දිනුව මගෙ පුතේ"
 නෙතට නැගුන කඳුළු බිංදුවත් එක්ක වර්තමානෙට ආපු මට ඇහුනෙ ප්‍රින්සිපල් සර්ගෙ කටහඬ.
"අවමංගල්‍ය සභාවෙන් අවසරයි. අද රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කල මේ තිළින රත්නායක රණවිරුවා, වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම තරුණයෙක්. ඔහු ගැන ගුණ කථනයක් කිරීමටයි මට පැවරී තිබෙන්නේ. මෙතුමා ගැන කතා කරද්දි මට මතක් වෙනවා........."
නිමි.

පුංචි සුරඟන..............



-->
සීතල මීදුම් සළුවකින් වැසී ගියපු ලස්සන කඳු වැටියක්, වා තලයට මුසු උන බටනලා සංගීතය,මේ අපූරුව ගැන කවියෙකුට නම් කවි පද දාහක් උනත් ලියන්න පුලුවන් වෙයි, ඒත් ගොපල්ලෙක් උන මට ඒ ලස්සන විඳ ගන්න තරම් කොහෙද ඉස්පසුවක්, මෙතුවක් කල් තනිකමයි කාන්සියයි තුරුළු කරගෙන ජීවත් වෙන්න හැල්මෙ දුවපු මම මොහොතක් කල්පනා කලා,. මගේ පාළුව නැති කරන්නත් කවුරු හරි ඒවි.  කොහෙදෝ ඉඳන් ආපු සීතල සුලඟක් ගතේ දැවටුනේ පුංචි අහිංසක බලපොරොත්තුවකුත් එක්ක... මම  දැනගෙන හිටිය ඔයා එන බව,ඔව් සත්තකින්ම මම දැන ගෙන හිටිය.........
දවස් ගානක්ම ගෙවිල ගියේ කිසිම වෙනසක් නැතිව,ඒත් ඒ හැමදාකම මගේ ලෝකෙ ලස්සන කරන්න එන ගොපළු කෙල්ලෙක් ගැන මම හීන දැක්කා,.. කිසිම පිලිවෙලක් නැති මගේ ජීවිතේ පිලිවෙලක් කරන්න එන ගොපළු කෙල්ලෙක් ගැන මම හීන දැක්ක.එයා මගේ ජීවිතේ හැඩ කරන හැටි,ගොඩාක් ආදරෙන් මගේ ජීවිතේ බෙදා ගන්න හැටි ඒ හීන වල තිබුනා.ඒ හීනය සැබෑ වෙන දවස එනකන් මම ඇඟිලි ගැන්නා. ඒ දවස උදා උනා,  ඔව් ඔයා ආවා, මගේ ජීවිතෙට මගේ ලෝකෙට ඔය ආවා.................
ඒත් මොකක්දෝ අමුත්තක්, මට හම්බ උනේ මම හීන දැකපු ගොපළු කෙල්ලව නම් නෙවෙයි. මට හම්බ උනේ කඳුකරේ ලස්සන විඳින්න ඇවිත් අතරමං උන පුංචි සුරංගනවියක්......පුංචි සුරංගනවියේ... මේ කඳුකරේ පේන තරම් ලස්සන නෑ.  ඒ ලස්සනට යටින් මහා භයානක කමක් හැංඟිලා තියෙනව... ජීවිතය කියන්නෙ සුන්දර කවියක් නෙවෙයි.මේ කඳුකරයෙ ජීවත් වෙන්න තරම් ඔය හයිය නෑ.. මේ කඳුකරයට ඔයා සියුමැලි වැඩියි. ඔයා ඉක්මනටම විනාශ වෙලා යයි.............ඔව්, ඔයා ඉක්මනටම විනාශ වෙලා යයි...... 
ඒත්..... මම කොහොමද ඔයාට විනශ වෙන්න ඉඩ දෙන්නෙ, මහා ලෝභ කමක් හිතට දැනුනා. මම ඔයාට මගෙ හිතේ ඉඩක් දෙන්නම්,මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන්න අත්වැලක් වෙන්නම්. මට දැනෙනවා ඒ ඔයා තමයි.මගේ ජීවිතේ හැඩ කරන්න ආවෙ ඔයා තමයි. පුංචි සුරංඟනවියේ මම ඔයාට ආදරෙයි,ඔව් ඇත්තමයි. මම ඔයාට ගොඩාක් ආදරෙයි.. ඒත්,, අනේ මන්ද, ඔයා සුරඟනවියක්. මම නිකන්ම නිකන් ගොපල්ලෙක්. දිව්‍ය ලෝකෙදි සැප සම්පත් විඳපු ඔයාට මගෙ හදවතේ ඉඩ ඇති වෙයිද?   මම කොච්චර ආදරේ කලත් ඔයා ලඟදිම දවසක පියාඹල යයි.. ඔයාගෙ ලෝකෙට ඔයා පියාඹලා යයි.මම මොනවද දැන් කරන්නෙ. මේ සුරඟනාවි විනාශ වෙන්න දාල යනවද?නැත්නම් ටික දවසකට හරි මගේ හදවතේ ලැඟුම් ගන්න ඉඩ දෙනවද?
මම තීරනයක් ගත්තා,මෙතුවක් කල් මගේ ලෝකෙට ආවෙ ඔයා විතරමයි,එහෙව් ඔයා විනාශ වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. ඔය මගේ හදේ ඉඩක් ලබා ගත්ත නිසා ඔයා මගේ ලඟ රැදෙනකං මම ඔයාව ආදරෙන් රැකගන්නම්.... ඒත් ඔයා මට මේ තරම් දුර බව දැන දැනත් මම කොහොමද ඔයාට මගේ ආදරේ කියන්නෙ,.......... 

අතරමං උන පුංචි සුරඟන
ඉඩක් ලද මේ ගොපළු හද තුල
රැඳෙන තුරු ලඟ රකිමි දිවියේ
ඒත් සෙනෙහස කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

ඔයාට මගේ හදවතේ ඉඩ දුන්නත් මට ඔයාව පෙනුනෙ නම් කුණාටුවක් වගෙයි. ගමක හැදුන දුප්පත් ගොපල්ලෙක් වෙච්ච මට ඔයාගෙ විලාසිතා, හැසිරීම, කතාබහ දැනුනෙ කුණාටුවක් වගේ.මම ගොපළු කෙල්ලක්ගෙන් බලාපොරොත්තු උන සුන්දරත්වය ඔයා ලඟ නැද්දෝ කියලත් මට හිතුන. ඒත් ටික දවසකින්ම මට තේරුනා ඔයාගෙ ඇතුලෙත් ජීවත් වෙන්නෙ මම ප්‍රාර්තනා කරපු විදිහෙ අහිංසක කෙල්ලෙක්මයි කියන එක. ඒ වගේම මම තේරුම් ගත්තා කුණටුවක් විදිහට දැක්කත් ඔයා සුවඳ මදනලක් වෙලා මගේ ලෝකෙම සුවඳ කරපු බවත්, ඒත් ඔයා මට මේ තරම් දුර බව දැන දැනත් මම කොහොමද ඔයාට මගේ ආදරේ කියන්නෙ,.......... 

කුනාටුව ලෙස මගේ ලෝකෙට
පාවෙල විත් සුවඳ මද නල
සුවඳ සැදුමුත් මගේ දිවියේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

ඔයා කින්නරාවියක්... ඔව් ඔයා දිය කිඳුරියක් වගෙයි. මේ පුංචි රටේදි කෙනෙක් වෙන් වෙලා ගියොත් ආයෙත් කවදා හරි, කොහේදි හරි මුනගැහෙනව. ඒත් දියකිඳුරිය යන්නෙ මුහුදට,එයාව කවදාවත්ම මුනගැහෙන එකක් නෑ. ඔයා වෙන් වෙලා ගියාමත් ඒ වගේමයි. කවදාවත්ම මුනගැහෙන එකක් නෑ,ඒත් ඔයට නම් ඒකෙ වගක් වත් නෑ, හරියට මගෙන් වෙන් වෙන එක ඔයාට දුකක් නෙවෙයි වගේ. ඒකත් එහෙමනම් මම කොහොමද ඔයාට ආදරෙයි කියල කියන්නෙ,

වෙන්ව යන බව දැන දැනම හෙට
අද සිනාසෙන කින්නරවිය
රැඳෙනු රිසි මුත් මගේ ලෝකේ
ආදරේ බව කියමි කෙලෙසක
නුඹෙ දෙසවනට ලං වෙලා.........

ඔයා ලඟදිම ඈතකට පියාඹලා යාවි.ඒත් මගේ පුංචි හදවතේ ඔයා හැමදාමත් ජීවත් වේවි. කිසිම කෙනෙක් පය නොගහපු මගේ ලෝකෙට ආවට, කිසිම බලාපොරොත්තුවක් නොතිබුනු මගේ ලෝකෙට පුංචි බලාපොරොත්තුවක් හරි දුන්නට, පුංචි සුරඟනාවියේ ඔයාට ගොඩාක් පින්.........
මේ දුප්පත් හදවත අමතක කරල ඔයාගෙ ලෝකෙ හොයාගෙන පියඹුවට මේ දුප්පත් ගොපල්ල කවදාවත්ම ඔයත් එක්ක තරහ නෑ........... ඇත්තමයි.........

Related Posts Plugin for WordPress, Blogger...