සිහින ...

තාර ගැලවුන පාර කට්ටේ
ණයට ගත් මරුතියේ ඉඳගෙන
ලඟම උන් එක්කලා තරඟෙට
බෙන්ස් හීනෙට හැටේ පාගන..

පඩි පතේ ඉතුරුවක් නැතුවට
බිත්ති හතරට එහා දුර ගොස්
හීනයක හිර කරපු තරමක්
අහස උසටම නැගුන මන්දිර..

නැවතිලා රතු එලිය අද්දර
ඇසිල්ලෙ ඇස් ඇර බලනවිට
දුටිමි අපමණ තවත් ඇති බව
හීනයක්වත් අහිමි ජීවිත...

දිනෙක ඉඳහිට..

දිනක ඉඳහිට සැඳෑ වරුවක
ලෝකයෙන් තනි වූ ඇසිල්ලක
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල තනි වෙමී..

සිහින මිහිදන් සුසානය මත
අදත් යුවලකි මතක ඇහිඳින
තබන බර අඩි සද්ද හින්දම
අවදි කරවයි මියුනු මතකය
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල ඇවිදිමී..

සිත්තමක් සේ දෑස් අභියස
ඇඳෙන පෙර දින මට උරුම රුව
හදින් පිටමං නොකල  වරදට
නෙතු කෙවෙනි නිති බොඳ වෙවී
මතක පොත පිටු පෙරලමී
ඒ මතක තුල තනි වෙමී..



සැප කාර් තඩි ගෙවල් මොණර කොල මිටිවල
වැඩි වැටුප් පට්ටන්දර කැරකැවෙන පුටුවල
රාග දෙනෙතක බාල ටෙලියක පිරූ මධුවිතවල
ජීවිතේ තියෙන්නෙම අපි හොයපු නැති තැන් වල

මේ නගරය..

නම ඇහුන ගමන්
මතක අවුලුවන
හීන ඇහැරවන
ආයෙත් යන්න හිතෙන
ආදරණීයම නගරය
මතකයක් විතරමයි අද
උඹ නැතුව
මං විතරක්
රස්තියාදු ගහන..

සමාජ දුරස්ථභාවය

උඹව පෙනි පෙනී
උඹව ඇහි ඇහී
උඹව දැනි දැනී
නොපෙනෙනා,නෑසෙනා,නොදැනෙනා
ලෙස ඉන්න මට
උන් එනවා කියල දෙන්න
Social distancing

ගුරු ගෙදරට ආයෙත්

සියල්ල එලෙසමයි
වෙනස් වී ඇත කාලය
පමණක්
පෙර කාලය
අප උන් කාලය
අද ලෙස
අපද අතීතයක් කර..
දුව පනින සමනල පැටවු
අවුස්සන මතක නටඹුන්
අතර
මතුවී පෙනෙන මිතුරුදම්
ආදරෙන්
එදා වාගෙම

තුංමං හන්දිය


දෙමගක පැමිනි උන්
එක්ව පෙරට යන
එක්ව පැමිණි උන්
වෙන්ව දෙමගක යන
අරුමය
තුංමං හන්දිය

ශිෂ්‍යත්වය

සමත් කියනා මෙන්ම
අසමත් කියනා සැමත්
එකම පන්තියේ
ආයෙත්
හෙට සිට..

පුවතක්


කොරෝනා එක්ක ජීවත් වීමට ජනතාව හුරු විය යුතුයි
-පුවතක්-

උඹත් එක්කත් ඉන්න තිබුනා
හරි ආදරෙන් තාමත්
උන්නා නම් මේ වගේ
කට වහගෙන
මීටරෙන්

තත්පර තිහක්වත්


ලක්ශපතියට යන්න හිතෙනවා
උත්තරේ දැන දැනත්
Call a friend ගන්න
වැරදි උත්තරේම
දෙන බව දැන දැනම
උඹත් එක්ක කතා කරන්න
තත්පර තිහක්
ඔව් තත්පරම තිහක්

සෞභාග්‍යයේ දැක්ම

අඩක් නිම කල නිවාස
මග කැඩෙන වාහන
මදිවට
අහසට උස ණය කඳු
මැදින්
පියමනින්නට වෙරදරන
පංතියත් අහිමි
මැද පංතියේ ශරීර කූඩුවල
හිත් සනසවන්නට...

පරිණාමවාදය අලුතින් හිතන්න

වෙලාවකට හිතෙනවා
අනිත් සත්තු
පහු කරගෙන
අපි ඉස්සරහට ගියාද
නැත්තම්
ගහකට නැග ගන්න බැරි
අඩි දහයක් දුව ගන්න බැරි
වැස්සක තෙමෙන්න බැරි
ඇලක දොලක පීනන්න බැරි
අපිව
අත ඇරල දාල
උන් ඉස්සරහට ගියාද
කියල

බුරාවී


උඹත් කුණාටුවක්
ගජරාමෙට ලක ලැහැස්ති උනාට
ඇවිත් ගියා කියල
දැනුනෙවත් නැති..

පැතූ පැතුමන්

පැතූ පැතුමන්  පිරූ පෙරුමන්
සඟවගෙන හදවත කොනේ
මට අහිමි මග ඔහු සමග යන
දින පතමි ආසිරි ලඳේ..

ආදර කන්ද පාමුලදි බිම
වැටී සැඟ උන කඳුලු බිඳුවක්
සොයා සඟවා තබමි රහසේ
තනි මකන්නට පාලු අහසක්..

දිනෙක ඉඳහිට ඔබේ මතකය
හදේ ගැඹුරුම තැනින් මතුවී
රිදුම් දෙන විට හැඳින ගන්නෙමි
සැබෑ ප්‍රේමය එයම විලසින්..




මතක පොත අතරින්

පොද වැස්ස ඇද වැටෙන මන්දාරමේ ගුලි වෙවී
පිච්චියක් අත නැතත් ආදරෙන් වෙලි වෙලී
එක කුඩය යට දෙන්න ගියපු හැටි තෙමි තෙමී
සිහි කරයි අතීතය මතක දොර ඇරි ඇරී


අදත් සිරිපොද වැස්ස එදා මෙන් වහිනවා
මන්දාරමයි කුඩෙයි එලෙසින්ම තියෙනවා
මගේ තනි නොතනියට නුඹත් ලඟ ඉන්නවා
ඒත් ආදරියෙ දැන් අපිට කාරෙකක් තියෙනවා




හනික එන්නම්

සැඳෑ කළුවර එබෙන්නට පෙර
දින ගෙවා ගෙට එනතුරා
රිදෙනවද ඔය පුංචි නෙතු යුග
මා එනතුරා මග බලා…

ගතේ වෙහෙසයි සිතේ රිදුමයි
දිනයෙ අපමන කටුක හැඟුමන්
ඔබේ කිරිකැටි සිනහා අභියස
මැකී යයි සිත තුටු වෙලා…

නිදන්නට සුව යහන වන්නට 
මගේ උර මත වැතිරිලා
හනික එන්නම් පුංචි දෝණියෙ
තවත් ඔය නෙතු නොරිදවා...



සරුංගලය

අතරමං කරන්නට වෙරදරන
උඩු හුලඟ හමුවේ
රැඳී ඉන්නට දරන වෙර...

ඒත්
අම්මයි තාත්තයි කියනව ඇහුන
හරි ආඩම්බරෙන්
"පුතා දැන් කොළඹ,
ලොකු රස්සාවක් කරනවා"

සුලගෙ පනිවිඩ යවනවා

සුලගෙ පනිවිඩ යවනවා තව
ඔබට ඇසෙතැයි සිතනවා
එක්ටැම්ගෙයක දුක් විදින මුත්
පෙර පුරුදු සුවදම සොයනවා..

එදා මතකය සිහිවෙලා
මුව සිනා එයි සිත රවටලා
ඔබ අහිමි බව යලි තේරිලා
යලි ගලා යයි කදුලක් වෙලා...

අතින් අතගෙන පෙර වගේ අද
යන්නෙ කොහොමද හිනහිලා
සිරගත කලත් මා ගතින් එනමුදු
සිතින් ඔබ ලගමයි සදා...


අද පළ වෙන්නේ "ඔබ එනතුරු" නමින් පළ වූ පෝස්ටුවට ලැබුනු ප්‍රතිචාරයක්. මේක ලියා එව්වේ අපේ විශ්වවිද්‍යාලයේම කළමනාකරන අධ්‍යන පීඨයේම ඉගෙන ගන්න එතකොට "සංහිඳ" සඟරාවෙ, සංහිඳ කණ්ඩායමේ සාමාජිකාවක් වෙන ටිලී ( තිලිණි චතුරංගා ) නංගි. බොහොම ස්තූතියි නංගි ප්‍රතිචාරයට..

ඔබ එනතුරු.....

සුලඟ රහසක් කියනවා
නුඹම මතකෙට නැගෙනවා
වීදි අතරේ සරනවිට මට
පුරුදු සුවඳම දැනෙනවා

එදා මතකය දෑස් අබියස
සිත්තමක් සේ ඇඳෙනවා
ගතින් දුර මුත් සිතින් ලඟ බව
සුලඟ රහසින් කියනවා

අතින් අත ගෙන පුරුදු මාවත
සරන සිහිනය දකිනවා
යලිත් එනතුරු වැව රවුම ලඟ
තවම මම මග බලනවා 


ඡායාරූපය http://www.flickr.com/photos/charithmania/7809139104/sizes/k/in/photostream/
Related Posts Plugin for WordPress, Blogger...