කවි පදවැල් පබඳිමි කෙලෙසා..........

-->

සුවඳ පුයරු නොදැම්මාට
ඇහි බැම හැඩ නොකෙරුවාට
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


රුවැත්තියන් ගත දවටනු
පිනිස සේද සළුව වියන
සන්නාලි සොයුරියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........


 සැඳෑ සාද රස කෙරුමට
දේ දල්ලෙන් රසය මවන
තේ දළු නෙලන ලියේ
හද සොමි ගුණ මුව මඩලෙහි
කැටයම් වන අපූරුවට
ඔය රුව ගැන කවි පදවැල්
පබඳිමි කෙලෙසා..........

මා ඉතින් යන්න යනවා......




නිරුදක කතරක
තනිව සරමින්
සේන්දු විනි කෙම්බිමක් වෙත,
සිහිල් පහස විඳ
තැබුවෙමි පිය මං සලකුනු,
දැන් ඉතින් කාලයයි
නික්ම යන්නට
මේ නවාතැනත් හැරදා.
සියලු දේ අතීතයටම
එකතු වී ඇත.
පසක් කරමින්
නිත්‍ය වන්නේ,
අනිත්‍යම පමණක් වග............

සුභ අලුත් අවුරුද්දක් වේවා!

කෝටි දෙකක මහ සෙනඟක්
මුලු රටක්  
එකම මොහොතක 
වැඩ නවත්තා, 
එකම මොහොතක 
කති බොති වැඩෙහි යෙදෙති. 
මේ අරුමයම නොවෙද 
සැබෑම
"සුබම සුබ අලුත් අවුරුද්ද"






අලුත් අවුරුද්දේ අර්ථය එකමුතුකමයි, 
එක්වෙමු අලුත් අවුරුද්ද අරුත් ගන්වමු....


සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ ඇත්තමයි....

යකුළු පහරකට විසුනු කල නොහෙනා
මහා මේරුවක් වන් හදවත
සියුම් හී තුඩින් ඇන
සසල කල හැක්කේ ඔබටමයි.

දෙනෝ දාහක් මහ සෙනඟ මැද
නිමේශයක පමාවෙන්
මා හුදෙකලා කල හැක්කේද ඔබටම පමනයි,

ඉතින් කොහොමද මම කියන්නෙ
නුඹ නැතිව මට පළු නෑ කියා
තත් කොහොමද මම නොකිය ඉන්නෙ
නුබ නොමැතිව මගෙ ජීවයක් නෑ කියා

නෑ නෑ නෑ වැරදුනා
මට පුළුවන් තනියම ඉන්න
මට පාළු නෑ
 නෑ නෑ නෑමයි........

අපි නම් නිදි නෑ.....

ඔය හැදෙන්නෙ ගොඩනැගිලි
කෑ ගැහුවෙ නැතුවට
ක්‍රීඩාංගන පාරවල්
ඉල්ලන්නත් කලිංම හදනවනෙ
අර සංගම් නැතුවට
අනේ අම්මප
අපරාදෙ අපි කෑගැහුවෙ

ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං ක්‍රීං

ෂික් විතරක්
නිදාගත්ත විතරයි මතක
මේ කෙහෙල්මල් එක වදිනවනෙ

ත්‍රස්තවාදය




සබරගමු සරසවි සොයුරන් තිදෙනාට එල්ල කල මැර ප්‍රහාරය හෙලා දකිමු. 
මෙවන් සොඳුරු මිනිසුන්ට පහර දුන් මැරයන්ට 
සහ උන්ට අනුබල දුන් අමනයන්ට
 ශාප වේවා!!!!!




සුබ අළුත් අවුරුද්දක් වේවා !


පුම්බපු බැළුන් බෝල
නම කියන්න තේරෙන්නෙත් නැති
කෑම ජාති,
තව වීදුරු බෝතල්වල සැර බීම
වටකරගත්
පාට පාට සිහින ලොවකි
"31st night"
ඒත් පහුවදාට
පුරුදු ගහකොල
පුරුදු සුලඟමයි.
පුරුදු ප්‍රශ්න වැලම
කරපින්නාගෙන
දිගේලි කරාවි
බර අදින්නට
තවත් දොලොස් මහක් පුරාවටම………..

මේ නම් ආදරයමයි......

ඔබෙ එකම එක කටුක වදනක්,
කිණිසි පහරකි
නියම ඉලක්කයටම එල්ල වූ
වියරු වෙයි නුඹ - රුදුරු වෙයි නුඹ
නමුත් බැහැ නේද එක තත්පරයකට වඩා
කරන්නට ඔය බොරුව.
අසුරු සැනකින්
ලපටි දැරියකගෙ සිනහවක් පා
බොලඳ වදන් දොඩමින්
මට තුරුළු වන්නේ
නුඹම නොවෙද?
පුදුමයි,
ආදරයට කල හැකි හපන්කමක්.
ඇත්තමයි,
 මේ නම් ආදරයමයි......

අවමංගල්‍ය සභාවෙන් අවසරයි.....

-->
ඉස්කෝලෙ මහත්තයෝ මම මේ මුලිච්චි වෙනකංමයි උන්නෙ, හැබෑටම මහත්තයෝ මොකක්ද ඔහේගෙ පොඩි පුතා නටන නාඩගම, මුළු පවුලෙම නම්බුව කම්මුතුයිනෙ. දැනුත් මං දැක්ක හන්දියෙ බෝක්කුව උඩ කාණ්ඩ ගැහිල. ඉලංදාරිය දැන් රස්තියාදුවෙමයි. ඔබතුමාට තාමත් අපි ගරු කරනව.ඒ නිසයි මෙහෙම කතා කලේ. නැත්නම් අල්ලල දෙනව පොලීසියට.
ඒ මොකද ප්‍රින්සිපල් සර්?”
මුං හැත්තවරිගෙම  ඉස්කෝලෙ වත්තට පැනල පොල් ගස් ටික ඔක්කොම සුද්ද කරලනෙ. ඔබතුමත් ගුරුවරයෙක් නෙ, කොල්ල දිහා ඇහැ ගහගෙන ඉන්න.නැත්නම් ලොකු විනාසයක් අත ලඟයි. ඕං මං අද කිව්වයි කියල මතක තියා ගන්න.
අවුරුදු ගානකට පස්සෙ ප්‍රින්සිපල් සර්ගෙ කථාව ආයෙත් මතක් උනා. ප්‍රින්සිපල් සර් විතරක් නෙවෙයි කඩේ මුදලාලි, ග්‍රාම සේවක මහත්තයා වගේ කීප දෙනෙක්ම ඒ දවස් වල ඔය කතාවම කිවා.ඒකෙ වරදකුත් නෑ. ඒත් මං දන්නව පොඩි එකාගෙ වරදකුත් නෑ......
පියදාස රත්නායක ඉස්කෝලෙ මහත්තයා, අවුරුදු 35 ක් ම දරුවන්ට අකුරු ඉගැන්නුවා.ඒ 35 න් 15ක්ම උපන් ගමේ ඉස්කෝලෙමයි. මගෙන් ඉගෙන ගත්තු හැම දරුවෙක්ම මගේ..උන් හැමෝම හොඳ හොඳ තැන් වලට ගියා, ඒ අතර වෛද්‍යවරු, ඉංජිනේරුවොත් හිටියා. ඒ තරම්ම ඉහලට නොගියත් ලොකු පුතා ලිපිකරුවෙක්,ලොකු දුව ගුරුවරියක්. එතකොට චූටි දුව කථිකාචාර්යවරියක්.  ඒත් පොඩි එකාට උසස්පෙළ කරන්න 6යි 3 ක් වත් තිබුනෙ නෑ.පවුලෙ බාලය නිසා හැමෝගෙම හුරතලේට හැදුනා. ඉගෙන නොගත්තට උඹ මට බරක් නෙවෙයි මගෙ පුතේ. මට පුලුවන් උඹට කන්න අඳින්න දෙන්න. උඹ කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. එත් උඹට වැරදුනේ කොතනද?
"අපෙ මහත්තයෝ, පාංශකූලෙට හාමුදුරුවො වැඩියා"
මම ආයෙත් මේ ලෝකෙට ආවෙ හාමිනේගෙ හඬින්. හාමිනේ දිහා බැලුවට මොකෝ එක වචනයක්වත් කථා නොකරම මම සාලෙට ආව. පොඩි හාමුදුරුවො පන්සිල් දුන්න. ගැඹුරු හඬකින් කරපු ලොකු හාමුදුරුවන්ගෙ අනුශාසනාව අතරෙදි මං ආයෙත් කල්පනා ලෝකෙ අතරමං උනා.
"කොල්ල ඊයෙ රෑට කෑවෙත් නෑ අපෙ මහත්තයෝ."
මම පොඩි එකාට කෑගැහුවෙ රට්ටුන්ගෙ කතන්දර අහගෙන ඉන්න බැරිම තැන. ඊට පස්සෙන්ද හාමිනේ ඔහොම කීවමයි මට මතක් උනෙ මාත් වේල් දෙක තුනක්ම නොකා හිටියෙ කියල. හවස පොඩි එකා ගෙදර ආවෙ ඉරිද පත්තරෙත් අරගෙන. පත්තරේ පෙරල පෙරල මොනවදෝ හොයනව අපි බලාගෙන හිටිය.
රස්සාවක් හොයා ගත්තද?
රෑ කෑම මේසෙදි චූටි කෙල්ල ඇහුවෙ ඔලොක්කුවට වගේ..
"ඔව්, මං හමුදාවට යනවා."
සති දෙකක් ගත උනා. හාමිනේ නොඅඬපු දවසක්  තිබුනෙ නෑ. කොළුව හමුදාවට යන්න හදන්නෙ මම ඌට කෑ ගහපු නිසා කියලයි උන්දෑ හිතන්නේ,මට හිතුනෙත් එහෙමමයි. දවස් ගානකට පස්සෙ කොල්ල මාත් එක්ක කතා කලේ හමුදාවට යන දවසෙ උදේ.මගේ දෙපා අල්ලල වැඳපු පොඩි එකා කියපු වචන මට තාම මතකයි.
"අප්පච්චි හිතන්න එපා මං හමුදාවට යන්නෙ අප්පච්චි මට බැන්න නිසා කියලා,මං දන්නව අප්පච්චි මට බැන්නෙ මාව හදාගන්න කියලා.ඇත්තමයි ඒ වෙලෙයි මගෙ ඇස් ඇරුනෙ. අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න කාලෙ ඇවිත් අප්පච්චි. ඒ නිසා මම හමුදාවට යනවා. රට රැක ගන්න එක මගෙ වගකීමක්, ඒකට මට ආශිර්වාද කරන්න අප්පච්චි."
කාලය මහ ඉක්මනට ගෙවිල ගියා.පොඩි එකා අවුරුදු ගනණාවක්ම උතුරෙ ක්‍රියාන්විතයෙ හිටියා.නිවාඩුවකට ගෙදර ආවත් දවසකට දෙකකට වඩා ඉන්නෙ නෑ. ආයෙත් දුවනවා. හැමතිස්සෙම කීවෙ "අපි දිනනව අප්පච්චි, ඉක්මනටම අපි දිනනව" කියලයි.
"ඔව් පොඩි පුතේ, උඹ දිනුවා.උඹේ ජීවිතෙ උඹ දිනුවා. උඹට රස්තියාදුකාරය කියල ආඩපාලි කියපු ගමේ උන් අද උඹ ගැන ආඩම්බරෙන් කතා කරනවා.උඹ හොරෙන් පොල් කඩපු ඉස්කෝලෙ වත්තෙනුයි අද ගොක්කොල කැපුවෙ. ඉතින් උඹේ ජීවිතේ උඹ දිනුව මගෙ පුතේ"
 නෙතට නැගුන කඳුළු බිංදුවත් එක්ක වර්තමානෙට ආපු මට ඇහුනෙ ප්‍රින්සිපල් සර්ගෙ කටහඬ.
"අවමංගල්‍ය සභාවෙන් අවසරයි. අද රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කල මේ තිළින රත්නායක රණවිරුවා, වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම තරුණයෙක්. ඔහු ගැන ගුණ කථනයක් කිරීමටයි මට පැවරී තිබෙන්නේ. මෙතුමා ගැන කතා කරද්දි මට මතක් වෙනවා........."
නිමි.

අපි වෙනුවෙන් අපි???

-->
එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..


 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)
Related Posts Plugin for WordPress, Blogger...