පැතූ පැතුමන්

පැතූ පැතුමන්  පිරූ පෙරුමන්
සඟවගෙන හදවත කොනේ
මට අහිමි මග ඔහු සමග යන
දින පතමි ආසිරි ලඳේ..

ආදර කන්ද පාමුලදි බිම
වැටී සැඟ උන කඳුලු බිඳුවක්
සොයා සඟවා තබමි රහසේ
තනි මකන්නට පාලු අහසක්..

දිනෙක ඉඳහිට ඔබේ මතකය
හදේ ගැඹුරුම තැනින් මතුවී
රිදුම් දෙන විට හැඳින ගන්නෙමි
සැබෑ ප්‍රේමය එයම විලසින්..




මතක පොත අතරින්

පොද වැස්ස ඇද වැටෙන මන්දාරමේ ගුලි වෙවී
පිච්චියක් අත නැතත් ආදරෙන් වෙලි වෙලී
එක කුඩය යට දෙන්න ගියපු හැටි තෙමි තෙමී
සිහි කරයි අතීතය මතක දොර ඇරි ඇරී


අදත් සිරිපොද වැස්ස එදා මෙන් වහිනවා
මන්දාරමයි කුඩෙයි එලෙසින්ම තියෙනවා
මගේ තනි නොතනියට නුඹත් ලඟ ඉන්නවා
ඒත් ආදරියෙ දැන් අපිට කාරෙකක් තියෙනවා




හනික එන්නම්

සැඳෑ කළුවර එබෙන්නට පෙර
දින ගෙවා ගෙට එනතුරා
රිදෙනවද ඔය පුංචි නෙතු යුග
මා එනතුරා මග බලා…

ගතේ වෙහෙසයි සිතේ රිදුමයි
දිනයෙ අපමන කටුක හැඟුමන්
ඔබේ කිරිකැටි සිනහා අභියස
මැකී යයි සිත තුටු වෙලා…

නිදන්නට සුව යහන වන්නට 
මගේ උර මත වැතිරිලා
හනික එන්නම් පුංචි දෝණියෙ
තවත් ඔය නෙතු නොරිදවා...



සරුංගලය

අතරමං කරන්නට වෙරදරන
උඩු හුලඟ හමුවේ
රැඳී ඉන්නට දරන වෙර...

ඒත්
අම්මයි තාත්තයි කියනව ඇහුන
හරි ආඩම්බරෙන්
"පුතා දැන් කොළඹ,
ලොකු රස්සාවක් කරනවා"

සුලගෙ පනිවිඩ යවනවා

සුලගෙ පනිවිඩ යවනවා තව
ඔබට ඇසෙතැයි සිතනවා
එක්ටැම්ගෙයක දුක් විදින මුත්
පෙර පුරුදු සුවදම සොයනවා..

එදා මතකය සිහිවෙලා
මුව සිනා එයි සිත රවටලා
ඔබ අහිමි බව යලි තේරිලා
යලි ගලා යයි කදුලක් වෙලා...

අතින් අතගෙන පෙර වගේ අද
යන්නෙ කොහොමද හිනහිලා
සිරගත කලත් මා ගතින් එනමුදු
සිතින් ඔබ ලගමයි සදා...


අද පළ වෙන්නේ "ඔබ එනතුරු" නමින් පළ වූ පෝස්ටුවට ලැබුනු ප්‍රතිචාරයක්. මේක ලියා එව්වේ අපේ විශ්වවිද්‍යාලයේම කළමනාකරන අධ්‍යන පීඨයේම ඉගෙන ගන්න එතකොට "සංහිඳ" සඟරාවෙ, සංහිඳ කණ්ඩායමේ සාමාජිකාවක් වෙන ටිලී ( තිලිණි චතුරංගා ) නංගි. බොහොම ස්තූතියි නංගි ප්‍රතිචාරයට..

ඔබ එනතුරු.....

සුලඟ රහසක් කියනවා
නුඹම මතකෙට නැගෙනවා
වීදි අතරේ සරනවිට මට
පුරුදු සුවඳම දැනෙනවා

එදා මතකය දෑස් අබියස
සිත්තමක් සේ ඇඳෙනවා
ගතින් දුර මුත් සිතින් ලඟ බව
සුලඟ රහසින් කියනවා

අතින් අත ගෙන පුරුදු මාවත
සරන සිහිනය දකිනවා
යලිත් එනතුරු වැව රවුම ලඟ
තවම මම මග බලනවා 


ඡායාරූපය http://www.flickr.com/photos/charithmania/7809139104/sizes/k/in/photostream/

සමාවනු මැන.........








සමාවනු මැන සමාවනු මැන කුමරියේ
මට අහිමි වග දැන දැනම නුඹ
සිහින කතරක  අතරමං කල මට
සමාවනු මැන සමාවනු මැන කුමරියේ

අතින් අත ගෙන සරසවි මාවත
ඔහේ ඇවිදන් යන්නට
යලිත් හමු වන්නෑ
අපට අවසර නෑ

වෙන්ව යමු අපෙ සොඳුරු මතකය
හාගලට ඉහලින් සඟවා
ගෙවූ කාලය සිහිනයක් පමනයි
සැබෑ නොවෙනා සිහිනයක් පමනයි

ඉතින් අවසරයි....

සිව් වසකට මදක් වැඩි කල් 
බලා සිටියත් මදි තවම මට 
නුඹේ රුව ගුණ වයනු කෙලෙසක  
මගේ ආදර සබරගමු අම්මා

ආදර කඳු සිප හමනා සුලඟට 
බෙලිහුල් ඔය නම් කෙහෙරැළි රඟදෙන 
නුඹ මුව මඩලේ රුව කොතරම් කල් 
බලා හිටියත් මදි තවම මට

හැර යන්නට වන නුදුරු හෙට දින 
රැගෙන යමි මම සියළු ගුණ දම් 
සමනල වැවතරම් ගැඹුරු හද මඩලින් 
කාන්දු කරන ලද අපේ හදවත් වෙත

විප්ලවය II

13වන වතාවටත් මම ලියමින් සිටි නවතම කෙටිකථාව කියවා බැලූවෙමි. මෙම කථාව කෙසේ අවසන් කරන්නද යන්න දින ගනනාවක් සිටම මගේ සිතට වද දෙමින් පැවතිනි. කෙටිකථාව විකාශනයේදී මා මැවූ චරිතයන් විකාශය වූ අයුරු පිලිබද නැවත නැවතත් කල්පනා කලෙමි. උග‍්‍ර විප්ලවවාදී උගත් කම්කරු නායකයෙකු ලෙස ගොඩ නැගූ ප‍්‍රධාන භුමිකාව අවසානයේදී දෙතැනක් අතර දෝලනය වන්නට වීම සැබැවින්ම මටද මානසික වදයක් විය. සැබැවින්ම මේ කතාන්තරය ලිවීම තුලින් ධනවාදී සමාජ ක‍්‍රමය තුල තමන්ට විදීමට සිදුවන ගැහැට වලට එරෙහිව සටන් කරන වීර චරිතයන් පිළිබඳව විවරණයක් කරන්නට බලාපොරොත්තු වුනෙමි. එවැනි විප්ලවීය වෙනසක් මා ජීවත් වෙන සමාජය තුල පවා සිදුවිය යුතුයැයි මා තුල වූ කල්පනාව මේ සදහා මා මෙහෙය වීය. නමුත් අවසනදී සිදුවූයේ කුමක්ද? බලාපොරොත්තූ වූ පරිදිම අභීතව සටන් කල ඒ වීර කම්කරුවන්ට ජයග‍්‍රහනයේ කිරුළු පලඳවමින් කථාව අවසන් කරන්නට මට නොහැකිය. තම සිතින් විඳවමින් දෙකොන ගිනිගත් පුද්ගලයෙකු, අනාගතය ගැන නිශ්චිත ප‍්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙකු ඒ සමාජයේ රජ කරවා විප්ලවය අවුලෙන් අවුලට යනු දකින්නට යම් රචකයෙකු කැමති වනු ඇද්ද? එය සමස්ත නිර්මාණයම අසාර්ථක කරනු නොලබන්නේද?

නමුත් මාගේ මිතුරන්ගේ අදහස වූයේ කථාවේ පෙර සිතා සිටි පරිදිම විප්ලවවාදීයා ජය ගත යුතු බවයි. විප්ලවවාදියාට සියලූ ප‍්‍රශ්න ජය ගන්නට අවශ්‍ය ධෛරයය හා කාලය ඇත. ඔහුගේ කම්කරු සගයන්ට සමාජීය අසාධාරණය තුරන්කරමින් රාජාණ්ඩුව පෙරලා දැමුවා මෙන්ම ඉහත අරමුණ වෙනුවෙන්ද කැපවිය හැකි බව ඔවුන්ගේ තර්කය විය. නමුත් මම මගේ නිර්මාණයට හා එහි කථානායකයාට බෙහෙවින් ආදරය කරමි. උත්තර නැති ප‍්‍රශ්න වැලක කථානායකයා අතරමං කරන්නට මෙන්ම නිර්මාණයේ වටිනාකම අවතක්සේරු කරන්නට කැමති නැති නිසාවෙන්ම එම අදහස අත්හැර දැමුවෙමි.

මීට අමතරව මා වෙත තවත් විකල්පයක් විය. විප්ලවවාදියා ජයගතහොත් ඔහුට මේ ගැටලූවලට පිලියම් සොයන්නට සිදුවනු නියතය. පෙර පුරුදු ලෙසම රජු සටන ජයගතහොත් විප්ලවවාදියා වීරයෙක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත. එවිට එය මාගේ ආදරණීය කථානායකයාට කල හැකි උපරිම ගෞරවයද සිදුකලා වනු ඇත.
"ඒත් ආයෙත් රජාම දිනුවොත්"

මට මා පිලිබඳව සිහිවිනි. උසස් අධ්‍යාපනය සදහා අගනුවරට රිංගාගත් දින පටන්ම ධනවාදී ක‍්‍රමයේ අසාධාරණයන්ට නතුවූ සැටි, මේ අසාධාරණයන්ට විකල්පයක් සොයන්නට මටම ශපථ කරගත් සැටි මාගේ දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. සැබැවින්ම මට මේ සමාජ ක‍්‍රමය ශෝධනය කරන්නට අවශ්‍ය විය. පවතින ක‍්‍රමය තුලින් අන්තයටම බැට කෑ දිලින්දෙකු වන මම කෙසේනම් මාගේ නිර්මාණයේ ජයග‍්‍රහනයත් ධනවාදයටම පවරන්නේද? පියවි සමාජය දෙුස බැලූකල සෑම ස්ථානයකදීම හොදින් හෝ නරකින් ධනවාදය සියල්ල ජයග‍්‍රහනය කර ඇත.

"එහෙවු එකේ මම මොකටද මගේ නිර්මාණයේදිත් අසාධාරණයටම දීනන් දෙන්නෙ, ඒකනම් හරීයන්නෙ නෑ. අඩුම තරමෙදී මගේ නිර්මාණයෙදිවත් ධනවාදය පරදීන්නම  ඕනි."

එසේ කිරීමට නම් මා වෙත තවත් එකම එක විකල්පයක් විය. කම්කරු නායකයාගේ සිතේ රැඳි ප‍්‍රශ්න රැසට පිළිතුරු සොයන්නට මට හැකිනම්, රජු මරාදමා විප්ලවය දිනවන්නට මට හැකියාව තිබිනි. සමාජවාදයේ ප‍්‍රායෝගික භාවිතය පිළිබඳ මම හදාරන්නට වුනෙමි. ඒ පිලිබඳව ලියවුනු පොත්පත්, රුසියානු විප්ලවය සම්බන්ධ සටහන් කියවූවෙමි. නමුත් උක්ත ප‍්‍රශ්න වලට පිළිතුරු සොයනු වෙනුවට එකක් පරයා තවත් එකක් වශයෙන් තවත් ගැටලූ නැගෙන්නට විනි. එක් ගැටලූවකට පිළිතුුරු ලෙස මා දුටු දෙය තවත් ප‍්‍රශ්ණ ගණනාවක ආරම්භය විය. මෙවැනි පසුබිමක් තුලයි මා 13 වන වතාවටත් නිර්මාණය කියවා බලමින් යම් වෙනසක් කරන්නට යත්න දැරුවේ. නමුත් එයද සාර්ථක නොවන සෙයක් පිලිබඳව ඉඟිපලවෙමින් පැවතිනි. නමුත් හදිසියේම යම් සිතුවිල්ලක් මා සිත ආක‍්‍රමණය කලේය.

"කථානායකයාටවත් උත්තර නැති ප‍්‍රශ්න වලට මම කොහොමද උත්තර හොයන්නෙ, සමාජවාදයේ ප‍්‍රයෝගික ප‍්‍රශ්න වලට උත්තර හොයන්න මම සමාජවාදියෙක් නෙවෙයිනෙ. දැන් මට කරන්න තියෙන හොදම වැඬේ තමයි මේ මගුල අතෑරල දාලා වෙන මොකක් හරි ලියන්න පටන්ගන්න එක"
නිමි.
Related Posts Plugin for WordPress, Blogger...