සරුංගලය

අතරමං කරන්නට වෙරදරන
උඩු හුලඟ හමුවේ
රැඳී ඉන්නට දරන වෙර...

ඒත්
අම්මයි තාත්තයි කියනව ඇහුන
හරි ආඩම්බරෙන්
"පුතා දැන් කොළඹ,
ලොකු රස්සාවක් කරනවා"

සුලගෙ පනිවිඩ යවනවා

සුලගෙ පනිවිඩ යවනවා තව
ඔබට ඇසෙතැයි සිතනවා
එක්ටැම්ගෙයක දුක් විදින මුත්
පෙර පුරුදු සුවදම සොයනවා..

එදා මතකය සිහිවෙලා
මුව සිනා එයි සිත රවටලා
ඔබ අහිමි බව යලි තේරිලා
යලි ගලා යයි කදුලක් වෙලා...

අතින් අතගෙන පෙර වගේ අද
යන්නෙ කොහොමද හිනහිලා
සිරගත කලත් මා ගතින් එනමුදු
සිතින් ඔබ ලගමයි සදා...


අද පළ වෙන්නේ "ඔබ එනතුරු" නමින් පළ වූ පෝස්ටුවට ලැබුනු ප්‍රතිචාරයක්. මේක ලියා එව්වේ අපේ විශ්වවිද්‍යාලයේම කළමනාකරන අධ්‍යන පීඨයේම ඉගෙන ගන්න එතකොට "සංහිඳ" සඟරාවෙ, සංහිඳ කණ්ඩායමේ සාමාජිකාවක් වෙන ටිලී ( තිලිණි චතුරංගා ) නංගි. බොහොම ස්තූතියි නංගි ප්‍රතිචාරයට..

ඔබ එනතුරු.....

සුලඟ රහසක් කියනවා
නුඹම මතකෙට නැගෙනවා
වීදි අතරේ සරනවිට මට
පුරුදු සුවඳම දැනෙනවා

එදා මතකය දෑස් අබියස
සිත්තමක් සේ ඇඳෙනවා
ගතින් දුර මුත් සිතින් ලඟ බව
සුලඟ රහසින් කියනවා

අතින් අත ගෙන පුරුදු මාවත
සරන සිහිනය දකිනවා
යලිත් එනතුරු වැව රවුම ලඟ
තවම මම මග බලනවා 


ඡායාරූපය http://www.flickr.com/photos/charithmania/7809139104/sizes/k/in/photostream/

සමාවනු මැන.........








සමාවනු මැන සමාවනු මැන කුමරියේ
මට අහිමි වග දැන දැනම නුඹ
සිහින කතරක  අතරමං කල මට
සමාවනු මැන සමාවනු මැන කුමරියේ

අතින් අත ගෙන සරසවි මාවත
ඔහේ ඇවිදන් යන්නට
යලිත් හමු වන්නෑ
අපට අවසර නෑ

වෙන්ව යමු අපෙ සොඳුරු මතකය
හාගලට ඉහලින් සඟවා
ගෙවූ කාලය සිහිනයක් පමනයි
සැබෑ නොවෙනා සිහිනයක් පමනයි

ඉතින් අවසරයි....

සිව් වසකට මදක් වැඩි කල් 
බලා සිටියත් මදි තවම මට 
නුඹේ රුව ගුණ වයනු කෙලෙසක  
මගේ ආදර සබරගමු අම්මා

ආදර කඳු සිප හමනා සුලඟට 
බෙලිහුල් ඔය නම් කෙහෙරැළි රඟදෙන 
නුඹ මුව මඩලේ රුව කොතරම් කල් 
බලා හිටියත් මදි තවම මට

හැර යන්නට වන නුදුරු හෙට දින 
රැගෙන යමි මම සියළු ගුණ දම් 
සමනල වැවතරම් ගැඹුරු හද මඩලින් 
කාන්දු කරන ලද අපේ හදවත් වෙත

විප්ලවය II

13වන වතාවටත් මම ලියමින් සිටි නවතම කෙටිකථාව කියවා බැලූවෙමි. මෙම කථාව කෙසේ අවසන් කරන්නද යන්න දින ගනනාවක් සිටම මගේ සිතට වද දෙමින් පැවතිනි. කෙටිකථාව විකාශනයේදී මා මැවූ චරිතයන් විකාශය වූ අයුරු පිලිබද නැවත නැවතත් කල්පනා කලෙමි. උග‍්‍ර විප්ලවවාදී උගත් කම්කරු නායකයෙකු ලෙස ගොඩ නැගූ ප‍්‍රධාන භුමිකාව අවසානයේදී දෙතැනක් අතර දෝලනය වන්නට වීම සැබැවින්ම මටද මානසික වදයක් විය. සැබැවින්ම මේ කතාන්තරය ලිවීම තුලින් ධනවාදී සමාජ ක‍්‍රමය තුල තමන්ට විදීමට සිදුවන ගැහැට වලට එරෙහිව සටන් කරන වීර චරිතයන් පිළිබඳව විවරණයක් කරන්නට බලාපොරොත්තු වුනෙමි. එවැනි විප්ලවීය වෙනසක් මා ජීවත් වෙන සමාජය තුල පවා සිදුවිය යුතුයැයි මා තුල වූ කල්පනාව මේ සදහා මා මෙහෙය වීය. නමුත් අවසනදී සිදුවූයේ කුමක්ද? බලාපොරොත්තූ වූ පරිදිම අභීතව සටන් කල ඒ වීර කම්කරුවන්ට ජයග‍්‍රහනයේ කිරුළු පලඳවමින් කථාව අවසන් කරන්නට මට නොහැකිය. තම සිතින් විඳවමින් දෙකොන ගිනිගත් පුද්ගලයෙකු, අනාගතය ගැන නිශ්චිත ප‍්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙකු ඒ සමාජයේ රජ කරවා විප්ලවය අවුලෙන් අවුලට යනු දකින්නට යම් රචකයෙකු කැමති වනු ඇද්ද? එය සමස්ත නිර්මාණයම අසාර්ථක කරනු නොලබන්නේද?

නමුත් මාගේ මිතුරන්ගේ අදහස වූයේ කථාවේ පෙර සිතා සිටි පරිදිම විප්ලවවාදීයා ජය ගත යුතු බවයි. විප්ලවවාදියාට සියලූ ප‍්‍රශ්න ජය ගන්නට අවශ්‍ය ධෛරයය හා කාලය ඇත. ඔහුගේ කම්කරු සගයන්ට සමාජීය අසාධාරණය තුරන්කරමින් රාජාණ්ඩුව පෙරලා දැමුවා මෙන්ම ඉහත අරමුණ වෙනුවෙන්ද කැපවිය හැකි බව ඔවුන්ගේ තර්කය විය. නමුත් මම මගේ නිර්මාණයට හා එහි කථානායකයාට බෙහෙවින් ආදරය කරමි. උත්තර නැති ප‍්‍රශ්න වැලක කථානායකයා අතරමං කරන්නට මෙන්ම නිර්මාණයේ වටිනාකම අවතක්සේරු කරන්නට කැමති නැති නිසාවෙන්ම එම අදහස අත්හැර දැමුවෙමි.

මීට අමතරව මා වෙත තවත් විකල්පයක් විය. විප්ලවවාදියා ජයගතහොත් ඔහුට මේ ගැටලූවලට පිලියම් සොයන්නට සිදුවනු නියතය. පෙර පුරුදු ලෙසම රජු සටන ජයගතහොත් විප්ලවවාදියා වීරයෙක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත. එවිට එය මාගේ ආදරණීය කථානායකයාට කල හැකි උපරිම ගෞරවයද සිදුකලා වනු ඇත.
"ඒත් ආයෙත් රජාම දිනුවොත්"

මට මා පිලිබඳව සිහිවිනි. උසස් අධ්‍යාපනය සදහා අගනුවරට රිංගාගත් දින පටන්ම ධනවාදී ක‍්‍රමයේ අසාධාරණයන්ට නතුවූ සැටි, මේ අසාධාරණයන්ට විකල්පයක් සොයන්නට මටම ශපථ කරගත් සැටි මාගේ දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. සැබැවින්ම මට මේ සමාජ ක‍්‍රමය ශෝධනය කරන්නට අවශ්‍ය විය. පවතින ක‍්‍රමය තුලින් අන්තයටම බැට කෑ දිලින්දෙකු වන මම කෙසේනම් මාගේ නිර්මාණයේ ජයග‍්‍රහනයත් ධනවාදයටම පවරන්නේද? පියවි සමාජය දෙුස බැලූකල සෑම ස්ථානයකදීම හොදින් හෝ නරකින් ධනවාදය සියල්ල ජයග‍්‍රහනය කර ඇත.

"එහෙවු එකේ මම මොකටද මගේ නිර්මාණයේදිත් අසාධාරණයටම දීනන් දෙන්නෙ, ඒකනම් හරීයන්නෙ නෑ. අඩුම තරමෙදී මගේ නිර්මාණයෙදිවත් ධනවාදය පරදීන්නම  ඕනි."

එසේ කිරීමට නම් මා වෙත තවත් එකම එක විකල්පයක් විය. කම්කරු නායකයාගේ සිතේ රැඳි ප‍්‍රශ්න රැසට පිළිතුරු සොයන්නට මට හැකිනම්, රජු මරාදමා විප්ලවය දිනවන්නට මට හැකියාව තිබිනි. සමාජවාදයේ ප‍්‍රායෝගික භාවිතය පිළිබඳ මම හදාරන්නට වුනෙමි. ඒ පිලිබඳව ලියවුනු පොත්පත්, රුසියානු විප්ලවය සම්බන්ධ සටහන් කියවූවෙමි. නමුත් උක්ත ප‍්‍රශ්න වලට පිළිතුරු සොයනු වෙනුවට එකක් පරයා තවත් එකක් වශයෙන් තවත් ගැටලූ නැගෙන්නට විනි. එක් ගැටලූවකට පිළිතුුරු ලෙස මා දුටු දෙය තවත් ප‍්‍රශ්ණ ගණනාවක ආරම්භය විය. මෙවැනි පසුබිමක් තුලයි මා 13 වන වතාවටත් නිර්මාණය කියවා බලමින් යම් වෙනසක් කරන්නට යත්න දැරුවේ. නමුත් එයද සාර්ථක නොවන සෙයක් පිලිබඳව ඉඟිපලවෙමින් පැවතිනි. නමුත් හදිසියේම යම් සිතුවිල්ලක් මා සිත ආක‍්‍රමණය කලේය.

"කථානායකයාටවත් උත්තර නැති ප‍්‍රශ්න වලට මම කොහොමද උත්තර හොයන්නෙ, සමාජවාදයේ ප‍්‍රයෝගික ප‍්‍රශ්න වලට උත්තර හොයන්න මම සමාජවාදියෙක් නෙවෙයිනෙ. දැන් මට කරන්න තියෙන හොදම වැඬේ තමයි මේ මගුල අතෑරල දාලා වෙන මොකක් හරි ලියන්න පටන්ගන්න එක"
නිමි.

විප්ලවය I කොටස



දසතින් නැගි ගිනි ජාලා අදුරු අහස්කුස එකලූකරන්නට විය. කවුලූවෙන් එපිට දිස්වන්නේ පෙර පැවති නගරයමදැයි සැක හිතෙන තරමටම දර්ශන තලය ව්‍යාකූල වී පැවතිනි. දර්ශන තලය මත චලනය වන වස්තූන් සමූහය මුරකාවලෙහි නියුතු සහෝදරයන්ම පමණක් වග හේ හොඳින් හැඳින්්නේය.
මොහොතකට සියල්ල සන්සුන්
සිතට ගලා සිතුවිල්ල පරයා තවත් සිතුවිල්ලක් සිත ආක්‍රමණය කලේය.
ඒත් තව කොපමණ වෙලාවකටද
එය සැබෑවකි. විප්ලවය උච්චතම අවස්ථාවට පැමිණ ඇත. තව පැය විසිහතරක කාලයක් තුල සියල්ල තීන්දුවන බවට විශ්වාසයක් ඔහු තුල විය.
ඔව් හෙටින් පස්සෙ සියල්ල සන්සුන් වේවි, සදහටම

කව්ළුවෙන් නෙත් හල ඔහුගේ දෙනෙත දුබල ඉටිපන්දම් එලියක් වටකරගත් මේසයක් වටා හිඳ තම වදනක් අපේක්ෂාවෙන් සිටින සගයන් දෙසට යොමු විය. සැබැවින්ම ඔවුන් ඔවුහුගෙන් එක වදනක් ලැබෙනතුරු බොහෝ වේලාවක් නිසොල්මනේ බලාසිටියවුන්ය. ඔහුගේ සිතට පිවිසි මීලග සිතුවිල්ල තම සගයන් පිලිබඳව වූ පහන් සිතුවිල්ලක්ම විය. විප්ලවයේ වර්ථමාන ජයග්‍රහණයට, හෙට දින එලඹෙන නව ජයග්‍රහණයට වගකිව යුත්තේ ඔවුන්ගේ මේ ඉවසීමම නොවේද? මේ නොසිදෙන ධෛර්යයම නොවන්නේද?

අවසානයේදී තීරනාත්මක අවස්ථාව උදාවිනි. උපතින්ම ලද භාග්යයක් වන් ගැඹුරු එහෙත් තිරසාර කටහඩ අවදි කරමින් සාකච්ඡාව ආරම්භවිය.

සහෝදරවරුනි, අපි බලාපොරොත්තු වූ පරිදිම එය අවසානයකට පැමිණ තිබෙනවා. අධිරාජ්‍ය ගැති කුලී හේවායන් සාමාන්‍ය වැසියන්ගේ වෙස්ගනිමින් පලායන බවට ඉදිරි පෙරමුනේ සහෝදරයින් වාර්ථාකර තිබෙනවා. අගනගරයේ බොහෝ ප්‍රමාණයක් දැනටමත් කම්කරුවන් පාලනයේ, රජමැදුර ඇති පෙදෙස අල්ලා ගැනීමේ සැලසුම මේ වනවිටත් සකස්කර අවසන්. දැන් අවශ්‍ය වන්නේ අපගේ අනුමැතිය සහ අප කීප දෙනාගේ සහභාගීත්වය පමණයි. සහෝදරවරුනි, දැනට සකස්කල සැලසුමේ අඩුපාඩු ඇත්නම් පෙන්වා දී අනුමැතිය ලබාදෙන්න. මේ නියෝගය රැුගෙන ඉදිරි පෙරමුනට යාමට මම සූදානම්.

ප්‍රහාර සැලස්ම සභාගත විය. තර්ක විතර්ක, හේතු දැක්වීම් දසතින්ම ඇසිනි. සංශෝධන සහිතව සැලැස්ම අනුමත විය. නැවතත් ගැඹුරු නිහැඩියාවකි. අන් සියල්ල මෙන්ම නිහඩතාවයද අවසානයට පත්විනි.
එසේනම් සහෝදරවරුනි, බලාපොරොත්තු තබාගන්න එලඹෙන හෙට දවස පිලිබඳව, හෙට පිබිදෙන නව හිරු ලොවට කියාවි නිවහල් ලොවක අරුමය, නිදහස් ලොවක අසිරිය. මෙතෙක් කලක් සියලූ සමාජ ස්ථරයන්ගේ පීඩිත බලවේගය වූ කම්කරුවා හෙට පටන් සියලූ ස්ථරයන්හි තීරක බලවේගය බවට පත්වේවි. හෙට දිනය සාර්ථක කරගන්නට ඔබෙත් මගේත් කැපකිරීම පෙරටත් වඩා අවශ්‍ය වේවි. එසේනම් මට අවසරයි. කම්කරු බලවේගයට ජය වේවා! විප්ලවය සදා දිනේවා! මාතෘභූමියට ජය වේවා!”

ජය හඬ, ආශිර්වාද, සුඛජනක හඬ ගැසීම් මධ්‍යයේ සටන් පෙරමුණ බලා යන ගමන ඔහු ඇරඹීය. නමුත් තම අවසන් වචන කීපය පිලිබඳව අනියත බියකින් තම සිත පෙලෙන වගද ඔහුට දැනිනි. සැබැවින්ම හෙටින් උදාවන නව දිනය තුල කම්කරුවාගේ කාර්යභාරය කෙසේ වේවිද? හෙටින් පසු තව දුරටත් ඔහු සමාජයේ තවත් එක් පුද්ගලයෙක් නොවෙයි. හෙට පටන් සමාජයේ පාලකයා කම්කරුවායී, නායකයා කම්කරුවායී, තීරකයාද කම්කරුවායී. මෙවන් සංකීර්ණ භූමිකාවකට පනපෙවන්නට තරම් කම්කරුවා ශක්තිමත්ද යන්න විශේෂ අවධානයක් යොමුකල යුත්තක් බව ඔහුටම වැටහී තිබිනි. එමෙන්ම විප්ලමය ආරම්භ වූයේ විප්ලවයක් අවැසීම මෙහොතේදැයි යන්න ඔහුගේ මනස තුල හොල්මන් කරන්නට විනි. ඔහුගේ හැඟීමට දැනීමට අනුව නම් නිසැකවම විප්ලවය ඇරඹුනේ විප්ලවයට සුදුසු වටපිටාවක් නොවූ මෙහොතකය. මර්ධනය උත්සන්නවූ අවස්ථාවේදී මර්ධනයෙන් ගැලවෙනු වස් ඒකරාශී වූ කම්කරු සමූහය මත ඉතිරි වූ එකම විකල්පය විප්ලවයම විය. මර්ධනය මේ රාත්‍රියත් සමගම සුනුවිසුනු වී යනු ඇත. නමුත් හෙට හිරු සමග තවත් ප්‍රශ්න රැසක් තම හිස මතට වැටෙනු ඇත. නිමක් නැති ආර්ථික ප්‍රශ්න රැසක් වලට මූහුන දීමට තමන් ඇතුළු කම්කරුවන්ට සිදුවනු ඇත.

ඇත්ත මෙච්චර ලොකු රටක්, මෙච්චර ලොකු ආර්ථිකයක් කොහොමද අපි එක පාරටම නිවැරදි කරන්නේ, පාලනය කරන්නේ?

තමා ඇතුලූ කම්කරුවන් පිරිස සූදානම් වන්නේ මෙතෙක් න්‍යායක් පමනක් තිබූ සමාජවාදය ක්‍රියාත්මක කිරීමට නොවේද? මෙහි ආදිකතෘන් පවා එහි ප්‍රායෝගික භාවිතයක් පිළිබදව අත්දැකීමක් ඇත්තවුන් නොවෙති. අනෙක් අතට ඔවුන්ගේ ඉගැන්වීමෙහි වපසරිය කෙතරම් පටුද, ප්‍රායෝගික භාවිතාකරන්නට පෙලඹීමේදී කොපමණ ගැටලූ ඇතිවන්න ඇතිද? අනෙකක් තබා හෙට පටන් සියලූම රට වැසියාගේ ආහාරයේ පටන් සියල්ල සැපයීමට තමා ඇතුලූ කණ්ඩායමට සිදුවනු ඇත. එසේ නම් දැන් පටන්ම වැඩ කටයුතු ඇරඹිය යුතු නොවන්නේද? නමුත් සදහා තම කණ්ඩායම සූදානම් ? ඔවුන් දැනටමත්  ඕනෑවටත් වඩා තෙහෙටුටු වූ කම්කරුවන් පිරිසක් පමණි.
ඔව් දැන්ම පටන්ගන්න  ඕනි. ඒත් කොතැනින්ද?
 විප්ලවයේ ඉදිරි අනාගතය පිළිබදව අනියත බියකින් නැවතත් හදවත් සසල විය.
පසුදා උදෑසන වන විට සැලසුම් පරිදිම සියල්ල සිදුවීමත්, රජමාලිගාවට අනපේක්ෂිත බාධාවකින් තොරව සහ අපේක්ෂිත බාධා සුනුවිසුනු කරමින් පිවිසෙන්නට හැකිවීමත් නිසා දැනුන සතුටත්, ආත්ම තෘප්තියත් විසින් ඔහුගේ මනසින් ඉහත කී වේදනාකාරී සිතුවිල්ල ඉවත් කරන්නට සමත්ව තිබුනි. රජ මාලිගයට පිවිසි ඔවූහු කුටියක් කුටියක් පාසා ඇවිද ගියෝය. නමුත් අවසනදී අභ්‍යන්තරයේ සුවපහසු කුටියක් තුල උදුනක් අසල වාඩිගෙන සිටියදී ඔවුන් සොයාගෙන ගිය පුද්ගලයා හමුවිනි. කිසිදු පසුතැවිල්ලක්වත් ශෝකයක ලක්ෂණයක්වත් නොපෙන්වා දකුනතේ රැඳි කඩුවද සමග හේ බලා සිටියේය. තම ස්වයංක්‍රී රිවෝල්වරයද සහිතව රජු දෙසට පියවර නගන අප කථානායකයාගේ සිතට නැවතත් පෙර පුරුදු වේදනාකාරී සිතුවිල්ල පිවිසෙන්නට විය. හෙට පටන් මේ පුද්ගලයාගේ කාර්යයන් සිදුකිරීමට තම කම්කරු සහෝදරයන්ට සිදුවනු ඇත. එසේත් නැත්තම් මේ ධනවාදියාගේ කාර්යයන් සියල්ල සමාජවාදයට ගැලපෙන සේ හැඩගස්වා ඉදිරියටම පවත්වාගෙන යාමට තම පිරිවරට සිදුවනු ඇත. නමුත් අවාසනාවකට කම්කරුවන්ට බෙහෙවින් අවැසි වූයේ ධනවාදය හා සමාජවාදය අතර සිදුකරන්නට යන ගැලපීම නොවේ. තමන් වෙතට කඩාවැටුනු මර්දනය, තමන් මතට එල්ල වුනු පීඩනය නවත්වාගැනීම පමණි, ඔවුනට අවැසි වූයේ. තත්වය එසේනම් හෙටින් ඇරඹෙන මහා ආර්ථික, සමාජීය ගැටලූ වලට මුහුනදීමට තමාට තනිවම සිදුවනු ඇත. සඳහා කොතෙක් දුරට තමන් සූදානම්ද?

අනෙක් අතට තමන් සතු රජකම තවකෙකුට බාරදීමට රජතුමා කැමතිවනු ඇද්ද? එසේ පරාජය බාරගන්නේ නම් ඔහු කඩුවකින් සන්නද්දව සිටීවිද? රජු සටනකට පිවිසියහොත් ඔහු සමග සටන් කිරීමට තමන්ට සිදුවනු ඇත. රජු මරාදමා මේ බාරගන්නට උත්සාහ කරන්නේ උත්තර නැති ප්‍රශ්ණ සමූහයක්ම නොවන්නේද? නමුත් රජු නොමරා සිටීම තම සගයන්, තමන් කෙරෙහි විශ්වාසය තැබූවන් පාවාදීමක් නොවන්නේද? ඔහුගේ සිත දෙතැනක් අතර දොලනය වන්නට විය.

 විප්ලවය II කොටස
Related Posts Plugin for WordPress, Blogger...