මේ ආදරයමයි - I

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

 ඔව්. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා. ඒත් තිබුන කියන්නද තාමත් තියෙනව කියන්නද කියල මම දන්නෙ නෑ. කොහොම උනත් සමහර රචකයො හැබෑවටම අපිට උන දේවල් රචනා කරනව, ගායකයො ගයනව. ඒ ගීත කවදාවත්ම අමතක කරන්න බැරි අපේ මතකයන් නැවත නැවතත් අපිට මතක් කරනවා.

එක නිමේශෙකට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න ඒ බව අහල තිබුනත් අත්වින්දෙ ඔයාගෙන්. එක නිමේශයකදි සිසිල් මදනලක් වෙලා මගේ ලඟට ආපු ඔයා ඊලඟ නිමේශයෙදි මහා චන්ඩ මාරුතයක් වෙලා මගේ ලෝකෙන් යන්න ගියා. ඒත් ඒ සිසිල් මදනල මගේ ලෝකෙට මොනවද ගෙනාවෙ, චණ්ඩ මාරුතය මගෙ ලෝකෙන් මොනවද අරගෙන ගියේ? මම අදත් කල්පනා කරනව ඇත්තටම ඔයා නිසා මගේ ලෝකෙට මොකද උනේ කියල. ඔය නිසා මගේ ලෝකෙට මොකුත් ලැබිලත් නෑ, මොකුත්ම නැතිවෙලත් නෑ.ඒත් මගේ ලෝකෙ වෙලා ගත්ත මේ මහා පාළුව, තනිකම? ඒක මට දුන්නෙ කව්ද?  ඔයා නේද? ඒත් ඒක පිලිගන්න ඔය කැමති නෑ. මම දන්නව ඔයා කවදාවත්ම ඒක පිලිගන්නෙත් නෑ කියල. ඔව් ඉතින් හැමදාම "ඔයා හරි, මම වැරදියි." ඒත් මට වැරදුනෙ කොතනද? මම හොයනව. ඊයෙත් අදත් හෙටත් මම හොයනව.

අපේ ආදර කතාවත් හරිම අමුතු ආදර කතාවක්. ඔව්, අපි දෙන්න මුලින්ම මුනගැහුනෙ රෝස මල් පිපුන ලස්සන මල් වත්තක නම් නෙවෙයි. මහ සෙනඟක් හුඟක් කලබලයෙන් එහෙ මෙහෙ දුවන ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දවසෙදි BMICH එකේදියි අපි දෙන්න ඉස්සෙල්ලම මුනගැහුනෙ කියල මම කිව්වොත් හැමදාම වගේ ඔයා කියයි මම වැරදියි කියල. අපි මුලින්ම මුනගැහුනෙ අනුරාධ සර්ගෙ Logic Class එකේදි කියල ඔයා කියයි. ඒ කථාවත් ඇත්ත. ඒත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ළමයි හිටිය ඒ Class  එකේදි ඔයා මට තවත් එක යාළුවෙක් විතරක්ම උනා. අඩුම ගානේ Class එකේ අන්තිම දවසෙදිවත් මම ඔයාගෙ Phone Number එක ඉල්ල ගත්තෙවත් නෑනෙ. එහෙම බැලුවොත් ඔයා කියන ඒ ආදර කතාව Logic Class  එකෙන් පටන්ගෙන Logic Class එකෙන්ම ඉවර වෙනව.

ඒත් මම කියන ආදර කතාව පටන් ගන්නෙ එකේදි අපි දෙන්න මුන ගැහුන තැනින්. ලක්ෂගානක මහ සෙනඟක් එහෙ මෙහෙ දුවන ඒ තරම් කාර්‍යබහුල තැනකදි තැනකදි හොඳට දන්න කියන කෙනෙක් උනත් මඟ ඇරෙන්න පුලුවන්. ඒත් ඒ දෙනෝදාහක් අතර මගේ ඇස් ඔයා ලඟ නැවතුනා. ඔයත් මං දිහා බලලා යන්තමින් හිනහ වෙලා අහක බලා ගන්නව වෙනුවට මගෙ දිහාම බලාගෙන හිටියා. ලක්ෂ ගානක් මිනිස්සු මැද ඔයයි මමයි එකම ලෝකෙක හුදකලා උනා.

"අයේෂා"
"නිමේෂ්"
"ඉතින් කොහොමද?"
"හොඳින් ඉන්නවා"

ඊට පස්සෙ දිග නිහැඬියාවක්. අන්තිමේදි ඔයා මොනවද කියන්න හැදුවා. මමත් මොනවද කියන්න හැදුවා. ඔයා කියන්න ගිය නිසා මම මුකුත් කිව්වෙ නෑ, මම කියන්න ගිය නිසා  ඔයා මුකුත් කිව්වෙත් නෑ.අපි දෙන්නම ගොළු උනා. ඊලඟ තත්පරයෙදි අපි දෙන්නම හිනා උනා.ඔව් මට තාමත් මතකයි. ඔයාට මතකද? ඔයා මගෙ Phone Number  එක දැන් ඉල්ලයි දැන් ඉල්ලයි කියලා මම බලන් හිටියා. ඒත් හැම දේම වගේම ඔයාට ඒකත් අමතක උනා. හැබැයි මම ඔයාගෙ Phone Number  එක ඉල්ලපු ගමන්ම ඔයා Number එක මට දුන්න. සමහරවිට ඔයත් බලාගෙන ඉන්න ඇත්තෙ මම Number එක ඉල්ලනකම්.

ඔයාට මතකද මුලින්ම අපි Phone එකෙන් කථා කරපු දවස. අපි කථා කලා වචන දෙක තුනක්. නැහැ දහයක් දොලහක්. ඒත් ඒ වචන දහය දොලහ ඇතුලෙ හැංඟුන  ලොකු රහසක් තිබුන කියල මට හිතුනා. ඔයාටත් දැනෙන්න ඇති. ඒත් එදා කිව්ව දේවල් වලට වැඩිය කියන්න තිබුන දේවල් වැඩි නිසා ආයෙත් Call කරනකම් මග බලාගෙන හිටියා. මුලින් විනාඩි දෙක තුනක Call එක පැය දෙක තුනක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඒ පැය දෙක තුන නිසයි මගෙ මුළු දවසම ගත උනෙ. ඒ Call එක එනකම් මම කොයි තරම් ආසාවෙන්ද බලාගෙන හිටියේ. ඒ කාලය කොයිතරම් ලස්සනද? ඒ මතක කොයිතරම් අපිට ලෙංගතුද? ජීවත්වෙනව කියල මතක් කලේ ඒ මතක. ඒ මතකයන්ට මම ආදරේ කලා.  ඔව්, ඔයාට මම ආදරේ කලා. ඇත්තටම මම ඔයාට ආදරේ කලා. ගොඩාක්.............

මේ ආදරයමයි II



ප.ලි.

මෙය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨ ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කරන "සංහිඳ" සඟරාවේ දෙවන කලාපයේ පල කරන ලද කෙටිකතාවකි. ඊලඟ කොටස ලඟදීම....

2 comments:

  1. ඊලඟ කොටස ඉක්මණට දාන්ඩෝ :D

    ReplyDelete
  2. ilaga kotasa thawath rasawathda

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...